අපේ දොස්තරලාට, ගණකාධිකාරීන්ට ඉහළ ඉල්ලුමක්!

විදේශ රැකියා සඳහා රට හැර යන ශ්‍රී ලාංකීය බුද්ධිමතුන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ වෛද්‍යවරුන් සහ ගණාකාධිකාරිවරුන් බව සංක්‍රමණිකයන් පිළිබඳව නිකුත් වූ නවතම වාර්තාවක් හෙළි කරයි.

migration outlook for Sri Lanka යන මැයෙන් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය හා ජාත්‍යන්තර විගමණ සංවිධානය විසින් පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ.

එම වාර්තාවට අනුව සෑම වසරකදීම මෙරට වෛද්‍යවරුන් 60ක් පමණ තමන්ට අනිවාර්ය වූ එක් වසරක පුහුණුව සඳහා එංගලන්තය, කැනඩාව සහ අනෙකුත් ලෝකයේ සංවර්ධිත රටවල් කරා පිටත්ව යන අතර ඔවුනගෙන් නැවත සිය මව්බිමට පැමිණෙන්නේ ඉන් භාගයක් පමණ වූ පිරිසකි.

මෙසේ අඛණ්ඩව සිදු වන බුද්ධිගලනය හේතුවෙන් මිලියන 18ක් වූ මෙරට ජන පිරිසකට ප්‍රතිකාර ලබා දීම සඳහා සිටින විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමාණය වනුයේ 800ක් වැනි වූ සුළු පිරිසක් බව එම වාර්තාව සඳහන් කරයි.

අදාළ වාර්තාවට අනුව බුද්ධිගලනය බහුලවම සිදු වන අනෙකුත් වෘත්තිය වන්නේ ගණකාධිකරණ ක්ෂේත්‍රයයි.

මෙරට බොහෝ වරලත් ගණකාධිකාරීවරුන් ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, එංගලන්තය, කැනඩාව මෙන්ම මැදපෙරදිග රටවල රැකියා සඳහා වැඩි වශයෙන් යොමු වන බව එහි සඳහන් වේ.

මෙරට වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගෙන් භාගයක් පමණම ඉහළ වැටුප් සහිත රැකියා සඳහා විදේශගත වේ.

80 මුල් දශකයේ දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය හා ඒ ආශ්‍රිතව මෙරට ඇති වුණු ගැටුම්කාරී වාතාවරණය උත්සන්න වීම හේතුවෙන් නිපුණතා සහිත මෙවැනි වෘත්තිකයන් රටින් බැහැර වීම වර්ධනය වූ බවයි, එම වාර්තාව වැඩිදුරටත් පවසන්නේ.

ඔක්,25, (විමසුම)